ලොව කිසිඳු පුද්ගලයෙකු උපතින් ආගමකට හෝ දර්ශණයකට උරුමකම් නොකියයි. බොහෝ විට සෑම දෙනෙකුටම පාහේ සිදුවන්නේ තම මව්පියන් අදහන/විශ්වාස කරන දහමේ අනුගාමිකයෙකු/බැතිමතෙකු වීමටයි. ඔබ බෞද්ධ නිවසක ඉපදුන හොත් බෞද්ධයෙකු වනු ඇත, කතෝලික නිවසක ඉපදුන හොත් කතෝලිකයෙකු වනු ඇත, ඉස්ලාම් නිවසක ඉපදුන හොත් ඉස්ලාමිකයෙකු වනු ඇත.. ඔය ආදී වශයෙන් ඔබ කුමන දහමකට අයත් නිවසක ඉපදුනත් එතැන් පටන් ඔබ විශ්වාස කරන්නේ එම ආගම හෝ ධර්මයයි. ඔබ පාසලේදී හා පාසලෙන් බැහැරව වැඩිදුර අධ්‍යනය කරන්නේ එම දහමයි.. මෙය කොතරම් දුරට සාධාරණ වේද???
ඔබේ කැමත්ත නොවිමසීමේ කිසියම් වු අසාධාරණත්වයක් එහි තිබුණද සැබවින්ම එය අසාධාරණ වේ යැයි අපට කිව නොහැක. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු නිවෙස් වල ඉපිද ඔබ බෞද්ධයෙකු, ඉස්ලාමිකයෙකු, කතෝලිකයෙකු හෝ හින්දු බැතිමතෙකු වීම...., ඔබ ආසියාවේ ඉපිද ආසියානුවෙකු වීම හෝ ශ්‍රි ලංකවේ ඉපිද ශ්‍රි ලාංකිකයෙකු වීම හා සමාන නොවන්නේද.. ඔබ විශ්වාස කරන අයුරකට ස්වභාවධර්මයට අනුව හෝ අහඹුවකින් හෝ දේව කැමත්තකින් එය සිදුවු බව වටහාගෙන ඔබට උරුම වු ආගම දහමට ළැදි වීම, ගරු කීරිම, පිළිපැදීම ඔබ විසින් සිදුකළ යුතු බව ඉහත කාරණා අවබෝධයෙන් හෝ තොරව දැනටමත් ඔබ දන්නා කරුණකි. නමුත් ගැටළුව පැන නඟින්නේ ඉන් පසුවය..
ඔබ ඔබට උරුම වූ ආගම දහම ගැන වැඩිදුර අධ්‍යනය කරයි. ඉන්මතු ඔබ පිළිගනු ලබන්නේ එම දහම ලොව ඇති යථාර්තවාදීම දහම ලෙසයි. නමුත් ඔබ එම තීරණයට එළඹුනේ එක් ආගමක් හෝ එක් දර්ශණයක් වැඩිදුර අධ්‍යනය කිරීමෙනි. ලොව ඇති සියළු ආගම් සියළු දර්ශණයන් අපට ගැඹුරින් අධ්‍යනය කළ නොහැකි බව සැබෑය, නමුත් අපි එය අධ්‍යනය නොකළ බව අප සිහියේ තබා ගත යුතුය. අන්‍යාගමිකයෙක් සමඟ හෝ වෙනත් ආගමක්/දර්ශණයක් පිළිබඳව ඔබේ මුවින් පිටවෙන වචන දෙවරක් සිතා පිට කළ යුතුය, මා ඉහත සඳහන් කළ දෑ ඔබේ සිහියේ නිතැතින්ම තිබිය යුතු නොවේද???
ලොව පවතින සියළු ආගම් සියළු දර්ශණයන් සඳහා අනුගාමිකයින් සිටී, ඔවුනුත් ඔබ වාගේම මිනිසුන්ය... ඔබ වාගේම ඔවුන්ගේ දහම ලොව ඇති එකම නිර්වද්‍ය දහම ලෙස පිළිගන්නා බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එසේනම් ඔබ කියා සිටින්නේ ඔබ වාගේම ලේ ඇට මස් නහර වලින් සැදුම්ලත් ඔවුන් රැවටී ඇති බවද? ඔසාමා, ප්‍රභාකරන් වැනි දරුණු ත්‍රස්තවාදීන්ට පවා පක්ෂපාතී පිරිස් සිටී බව සැබෑය.. නමුත් ආගම දහම යනු ඊට හාත්පසින් වෙනස් වූ දෙයකි. ආගම දහම බලපානුයේ තම ජීවිතයට ය. එසේ නම් තමන්ගේ ජීවිතය විනාශ කරන ආගමකට/දර්ශණයකට කිසිවෙකුත් අවනත නොවනු ඇත. එයින් පැහැදිළි වන්නේ කුමක්ද?? සැලකියයුතු අනුගාමිකයන් පිරිසක් සිටින ලොව කිසිඳු ආගමකින් හෝ ධර්මයකින් සිය අනුගාමිකයන්ගේ ජීවිත විනාශ නොකරන බවයි. නොයෙකුත් වෙනස්කම්, මතභේද තිබුණද සියළු ආගම ධර්මයන් ජීවත් වීමට මඟ පෙන්වයි.. ලොව කිසිඳු ආගමක් හෝ ධර්මයක් නොතිබුණානම් උපදින සෑම කෙනෙකුටම, තමන් ඉපදුනේ ඇයි?? ජීවත් විය යුත්තේ කෙසේද?? මිය යන්නේ ඇයි?? මරණින් මතු සිදුවන්නේ කුමක්ද?? යන ගැටළු සම්බන්දයෙන් සිතනවා හැර, ඊට පිළිතුරු සොයනවා හැර වෙනත් දෙයක් කීරිමට සිත් නොවන බව නම් නොඅනුමානය. ආගම දහම ඊට පිළිතුරු සපයා ඇත.. එහි නිර්වද්‍යතාවය ගැන වාද කිරීමෙන් බැහැරව සියල්ලන් එකාමෙන් සිටිය යුතුය, ඔබේ දහමෙන් ඔබට උගන්වන්නේ ද එයම නොවේ ද???
"මස් කෑමෙන් වළකින්න, සතුන්ටද ජීවත් වීමට අයිතිය ඇත" යැයි ඔබ තර්ක කරන විට, "ශාක වලටද ජීවයක් ඇත, ගල් යුගයේ සිට මිනිසුන් මස් ආහාරයට ගනු ලැබුවා, ස්වභාවධර්මය නිර්මාණය වී ඇත්තේ ඊට උචිත අයුරින්" යැයි තවකෙකු තර්ක කරන්නට පුළුවන.. මෙහි කෙළවරක් නොමැත.. කළ යුත්තේ, ඔබ පිළිගන්නා දේ අනුගමනය කිරීමත් අන් අදහස් වලට ගරු කිරීමත් ය(නමුත් මෙහිදී සිතිය යුතු තවත් කරුනක් තිබේ, එය ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන එමි)..
අවසානයට ලඟාවී ඇත.. සිතුවිලි ඔස්සේ ගමන් ගත් මාගේ අදහස් මෙලෙසින් ඔබ හමුවට ගෙන ආවේ එකඟ වීමට නොව මොහොතක් සිතීමට පමණි.. මේ ලිපිය තුල අලුතින් යමක් නොමැත, දැනටමත් ඔබ අවබෝධ කරගත් ඇත්ත, දැනගෙනත් තැකීමක් නොකරන ඇත්ත, ඔබ අතරම තිබියදීත් ඔබට නොපෙනුන ඇත්ත පමණක් මෙහි ඇති බව ඔබට පෙනෙන්නට ඇත.. නමුත් සියල්ල හුදෙක් මාගේ සිතුවිලි පමනක් වන්නටද ඉඩ ඇත... කෙසේ වෙතත් මා මෙහි සඳහන් කර ඇති දෑ මෙතුවක් වටහා නොගැනීම නිසාවෙන් ලංකාව තුල කොළඹින් පිටත බොහෝ ප්‍රදේශවල දැඩි වශයෙන් ආගමික ගැටළු තවමත් දක්නට ඇත... ඒ නිසාවෙන් සිතුවිලි.. බොඳ වන්නට පෙර, මොහොතක් සිතන්න ට ඔබ වෙත ගෙන ආවෙමි..